සුජීව ප්‍රසන්න ආරච්චි ෆේස්බුක් ගැන ලිව්වා නම් මෙහෙම වෙන්න තිබ්බා

Posted by

මා මගේ කුඩා සුදු පැහැති ඇපල් අයිෆෝන් 7 දුරකථනය අතට ගත්තේ හැකීම් හිරිගඩු පිපෙන හවසකය.නිල් පාට කටරොඩු මලක් වගේ නිල් පාටින් ෆේස්බුක් ඇප් එක මා සමග මුකුලු කරේ හවස හැන්දෑවෙ හිනාවෙන ජබරාස් මල් පොකුරක් මෙන්ය.ඇප් එක එහෙමය .හුරතල්ය..

මම මගේ දබරගිල්ල ගෙන ඇප් එක මත ටච් කරේ අද බුකියේ වී තිබෙන දේ දැන ගැනීමේ අශාවෙනි.එය ආත්මීය හැගීමකි.මම සුසුමක් යවා මගේ නෝටිෆිකේෂන් පැනලය දෙසැ බැලුවෙමි.එය හන්තානෙට පායන සඳ වගේය.මොනවත් ඇත්තේ නැත.මෙම අකවුන්ට් එක කෙල්ලෙක්ගේ වූවා නම් නෝටිෆිකේෂන් 99+ පනිනවා මට හවසට අපේ ගහේ පිපෙන සුදු පාට රෝස මල් සේ විශ්වාසය.ලෝකය එහෙමය…කොල්ලන්ට කුඩම්මාගේම සැලකිලිය.මම සුසුමක් යැව්වෙමි.එවිට මගේ සිත නිදහස්ය.මා එහෙමය.නිදහස් කොල්ලෙකි…

හවසට වැනි වැනී ගෙදර යන බණ්ඩා මාමා මෙන් මා වෝල් එකේ උඩට පහළට ගියේ කිසිම හැගීමකින් තොරවය.වෝල් එකත් පාර්ලිමේන්තු ටෝක් වැනිය.ඇති දෙයක් නැත .ඒත් අහන්නේය.එය සන්සාරගත බැදීමකි.

නිව් ස්ටෝර් එක විනාඩියෙන් විනාඩියට අප්ඩේට් වන්නීය.එය හරියට නුවර එළියේ හවස්සට වැටෙන පිණි බිඳු මෙන්ය.මට දැනුනේ ආත්මගත බැදීමකි.නිව් ස්ටෝර් එකේ පහළට යන විට මා කෙල්ලෙක්ගේ ලයික් 1.5 ක් වැටුණු ෆොටෝ වක් දැක හික් ගා නැවතුනෙමි.ඇත්තටම ඇයගේ ඇති දෙයක් නැත.ඈ දුටු විට මට මතක් වූවේ කොලිවුඩ් ෆිල්ම් එකක නිළියකගේ අම්මාට පණ පෙවූ නිළියකි.ඇය කට ඔහෙක් ගා උල් කොට අතින් මෙහෙක් ගා දෙක පෙන්නාගෙන සිටියාය.කොණ්ඩට හවසට පිපෙන රත් මල් පාට ඩයි පාට කොට තිබුණි. නහයේ වැස්සියක් මෙන් කරාඹුවකි.තොල් ලේ කෑ මාපිලා මෙන් රතුය.ඇය ඇඳ සිටින්නේ සුදු පැහැ ස්කිනියකි. ඇගේ ෆොටෝ එකට වාව් සහ හාට් රියැක්ෂන් හෝ ගාය.මම සිමින් ඇයට වැටී ඇති කමෙන්ට් නැරඹීමට කමෙන්ට් වෙත පිවිසුනේ හිත කීරි ගැහෙන හැගීමකිනි.

ශා නම්කී ඔයාමද මේ..? ස්වීට්… , කියූඌඋට් .. උම්මා…., ලව් යූ ෆන… යනාදී වශයෙන් ඇයට වැටී තිබෙන කමෙන්ට් දැක මට ඔක්කාරෙට ආවේ වෙනත් දෙයක් දැකය.කිසි දිනක අපේ ෆොටෝ එකකටවත් ලයික් එකක්වත් නොදාන අඩු කුලේ පර හැත්ත ඇස් ගෙඩි දෙකේ හාට් අලවගත්ත ඉමෝජිත් එක්ක කමෙන්ට් කර ඇත. කෙල්ල කමෙන්ට් කර ඇති අයට අනා තෑම්ස්…. , හී හී මම ටමා…, තැන්කූ වස්ටෝ…. , උම්මි … ආදී ලෙස රිප්ලයි දමා ඇත.උම්මා යැයි දැමූ කමෙන්ට් අස්සේ අදාල නැති අයද ඇවිත් ඇත්තටම ඔයාද මේ ලස්සනයි කියා කමෙන්ට් කර තිබෙනවා දැක මට හික් ගෑවුනි.

මම එය අල්ලා දැම්මෙමි.ලෝක ස්වභාවය මෙය වෙන්න ඇති කියා හිත හදාගත් මා පහළට යන විට දැක්කේ පන්සල් ගොස් සුදු ඇදුමින් චාම් ලෙස ෆොටෝ එකක් දැමූ කොල්ලෙකුගේ ෆොටෝවකි.කොල්ලාට ඇත්තේ හුරුබුහුටි පෙනුමකි.කොල්ලාගේ අතේ ලා දම් පාට නෙළුම් පොකුරක්ද ඇත.පැය 18 කට කලින් දැමූ එම පොටොවට තිබ්බේ ලයික් 10 කි.ඉන් 7 ක්ම හහා ය.කමෙන්ට් කිසිවක් නැත.මට කොල්ලා ගැන දුක සිතී ඇස් දෙක තෙත් විය.මම ලස්සනයි මල්ලී… කියා කමෙන්ට් එකක් දමා හාට් රියැක්ෂන් එකක් දැම්මේ කොල්ලාගේ හිත හැදීමටය.

නිව් ස්ටෝර් එකේ ඉද හති වැටුණ මම සීරුවට ගියේ එක්ස්ප්ලෝර් ෆීඩ් එක වෙතය. මාර්ක් මල්ලී කල අලුත් උප්පරවැට්ටිය මෙයය.එය පේජ් ඇඩ්මින් මල්ලිලාට ගෙන දී තිබෙන්නේ අසීරු කාලයකි.ජීවිතේ එහෙමය.අසීරු දේවල් සිදු වන විට අප ඒවා දරාගත යුතුය.පේස්බුක් පේජ් ඇඩ්මින් මල්ලිලාගේ පෝස්ට් උඩ ඉදන් පහළට බලමින් මම ගියෙමි.

සන්ගක්කාර බිරිදට දුන් අතුරුපස ගැන හොද කියා තිබූ පෝස්ට් එකක් දැක මම නැවතුනේ ගල් ගැසුවාක් මෙන්ය.ඊට හහා වාව් වගේම ලව් රියැක්ෂන් වැටී තිබේ.එහි කමෙන්ට් වෙත මා පිවිසුනේ මේ ගැන බුකි වාසීන් කියන්නේ මොකක්ද කියා දැන ගැනීමටය.ඒ සල්ලි අසරණ මිනිහෙක්ට දෙන්න තිබ්බා , මොනවා වුණත් හොදයි , තමන්ගෙ සල්ලි වලින් තමන්ට ඕනි දෙයක් කරාට වරදක් නෑ . කැ$% පො”% අපරාද සල්ලි ගාද ඇතැමුන් කමෙන්ට් කර තිබුණි.කමෙන්ට් අස්සේ කමෙන්ට්ය .ඒ අස්සේ ඇඩ්ඩින් ලාද කමෙන්ට් කරගෙන ඇත.බැනගෙන ඇත.සන්ගාගෙන් පටන් අරන් ඇඩ්මින්ගේ අම්මාගෙන් ඉවර වෙන තරමට වලිය දුර දිග ගොස්ය.බුකිවාසීන් එහෙමය .හරිම මාන්දමිකය.

තව පහතට යන විට අලියෙකුගේ ගෙවුණ පාද වෙත තම අනුකම්පාව යොමු වූ පෝස්ට් එකකි..පෞ නම් උබලා ගෙදර අරන් පලයව්කො….. එහෙම නම් හැම සතාම පෞ , බොරුවට පෝස්ට් දාන්න එපා පෞ ගාලා….ආදී වශයෙන් පෞ යන්න ගොඩ දෙනෙක් කමෙන්ට් කර තිබුණි. මිනිසුන්ගේ සිතීමේ හැකියාව සිතා මගේ එක ඇහැකට ඇඩුම් ආවෙමි.මම ඉක්මනින් ෆ්ලෝරා නිල් පැහැති ටිෂූ එකක් ගෙන කදුලු පිසදාගත්තෙමි.

ටික වේලාවකින් මට නෝටිෆිකේෂන් එකක් එනවා දැක මගේ හිත ම්ම්ම්ම් ගා සද්ද කරේය.මම පෞ ය.මා ඉක්මනින්ම එය විවර කරේ කුමක්ද යන්න දැන ගැනීමේ අටියෙනි. මගේ හොදම මිතුරෙක් මගේ ෆොටෝ වකට හහා දමා ඇති බව එහි සටහන් වී තිබුණි.මා ටික වේලාවක් මගේ දුරකථනය දෙස බ;ආ සිටියෙමි.ඩේටා ඕෆ් කර මා මගේ කුඩා හුරුබුහුටි ඇපල් දුරකථනය ගෙන පොළොවේ දෙපාරක් ගසා තුහ්හ් ගා කෙල පිඩක්ද ගැසුවෙමි.මා එහෙමය කේන්ති ගිය විට මා දරුණුය.මට මා ගැනමම් පෞ කියා සිතුනෙමි.

හුදෙක් උපහාසයට මිස අපහාසයට නොවන බව කරුණාවෙන් සලකන්න.

Shares 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *